ප්‍රසිද්ද කියමනක් තියෙනවනේ හොස්ස ලඟින් මැස්ස යන්න බැහැ කියලා. මේ ලිපිය නම් අන්න ඒ වගේ අයට එයාලත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනි නේද? අනංමනං කතන්දර ඕනි නෑ, ඉවසීම නැතිකම නිසා තමයි වෙන තරමක් කරදර අපිට වෙන්නේ. හැබැයි රටක් වශයෙන් ඉවසීමෙන් ස්වයංපෝෂිත වන්න නම් කරන්න පුළුවන් දේවල් අපේ වටේ තියෙනවානේ.
බස් එකේ ගමනක් යාම. ඒ තරමට ඉවසීමක් බස් එකකින් එක ගමනක් ගියාම ලැබෙනවා. නිකන්ම නිකන් බස් එකක ගියාට හම්බෙන දෙයක් නෑ ඉතින්. ගැම්ම එන්න නම් යන්න ඕනි ඩීසල් වෙනුවට ගොළුබෙල්ලෝ ගහන ඒවයේ. උදාහරණයක් දෙනවා නම් ඉතින් ලංකාවේ දෙන්න පුළුවන් හොඳම එක තමයි 154 කිරිබත්ගොඩ අඟුලාන බස් එක. සාපේක්ෂව කෙටි දුරක් යන්න මේ බස් එක ගන්න කාලයේ දී ඕනි නම් අටමස්ථාන සොළොස්මස්ථාන ටික බලාගෙන එන්නත් පුළුවනි.
ඒලෙවල් ඉවරයි ඊටපස්සේ. ජීවිතේ හොඳම කාලේ අවුරුද්දක් හමාරක් නිකරුණේ ගත වෙනවා මේ නිසා. ප්‍රතිඵල ආවා කියලා කියමු. අහවල් පාඨමාලාවට ද තේරුණේ කියලා හිතාගන්න යන කාලයේ වනගත වෙලා බවුන් වැඩියා නම් ඇත්තමයි ජීවිතේටත් විය යුත්තක් වෙනවා. ගම්වල ඉන්න ඇන්ටිලා, නෑදෑයෝ එක්ක ගෙවන්න වෙන දුෂ්කර කාලය ඉවසීම වැඩි දියුණු කරගන්න කියාපු එක.
නත්තල් කාලෙට අලුත් අවුරුද්දට වෙන ෂොපින් කියන්නේ ඉවසීමේ නහරයක් පුපුරලා වුණත් යන්න පුළුවන් තරමේ අවදානමක් තියෙන වැඩක්. ඇඳුමක් ළඟට ළං වෙන්න, ඒක ඇඳලා බලන්න, කැෂියර් එකට ළං වෙන්න කියන මේ තුන කරන්න කල්පාවසානය වෙනකන් වුණත් ඉන්න පුළුවන්. ඒ මදිවාට කඩවල වැඩ කරන උදවියගෙන් ඉස්පාසුවක් නෑ නිදහසේ එකක් තෝරගන්න. ආපහු කාලයේ ආපස්සට ගිහිල්ලා කොළ අතු ටිකකින් විළිවහගන්න තරම් ආවේගයක් ආවත් ඉවසීම කියන්නේ මේකේම කොටසක් නිසා හැම අවුරුද්දකම ඔය ක්‍රියාදාමේ සිද්ධ වෙනවා.